අප ගැන 

_

රජරට නුවරකලාවිය නොහොත් වැව් බැඳි රාජධානිය ලෙස විරුදාවලිය ලද උතුරු මැද පළාත,ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ ද්විතීය රාජධානි ඇතුළත් වූ අතිශයින්ම පුණ්‍යවන්ත වූ ස්වර්ණ භූමියකි.

අනුරාධපුර සහ පොළොන්නරුව ලෙස වර්තමානයේදී භාවිතාවන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත උතුරු මැද පළාත එයටම ආවේණික,අනන්‍ය,අද්විතීය අගයන්ගෙන් හා ශ්‍රී විභූතීන්ගෙන් සමන්විතය.අග්‍රගණ්‍ය සහ අසමසම අගයන් හා ජාතික උරුමයන් රැසක් දැයට දායාද කරමින් එම පෞඩත්වය මිහිදන්ව සහ ඇතැම්විට ඉස්මතු වී පෙනෙමින් ශ්‍රේෂ්ඨ ජාතියක විශ්මයජනක ගමන් මඟ යළි යළිත් සුජාතවන පරපුරට නිහඬව කියා දෙයි. සිංහල රාජ්‍ය වංශකතාව, ශිෂ්ටාචාරය හා සංස්කෘතියේ ප්‍රභවය හා විකාශනය මෙන්ම සිදු වූ ප්‍රවණතා පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේදී ඒ සඳහා අවශ්‍යවන ඓතිහාසික ශක්තිමත් අඩිතාලම රජරටින් සපයයි.

ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, ජල ශිෂ්ටාචාරය, රාජ්‍ය වංශ කතාව, දේශපාලනය, කළමනාකරණය හා පරිපාලනය,බෞද්ධ දර්ශනය,පුරාවිද්‍යාව-වාස්තුවිද්‍යාව,මූර්ති හා කැටයම් කලාව,භාෂාව හා සාහිත්‍යආදීසංස්කෘතිකාංග මෙන්ම ඒ මත ගොඩනැගුණු ශිෂ්ටාචාරයන් හා සභ්‍යත්වයන් ලොවට කියාපාන්නේ රජරට පුණ්‍ය භූමියෙන්ය.නවතම ප්‍රතිපත්ති,සැලසුම්,ක්‍රමෝපායන් සහ තාක්ෂණය සොයා අප යා යුතු වන්නේ රජරට පැවති ශ්‍රී විභූතිය වෙතට ගමන් කිරිමෙනි.

ක්‍රි.පූ. 543 දී පමණ එනම් සම්බුද්ධ පරිනිර්වාණ දිනයේදීම සිදු වූ විජයාවතරණයෙන් පසු අනුරාධ නම් සෙනෙවියෙකු අනුරාධ නැකතින් මල්වතුඔය අසල අනුරාධපුර ජනාවාසය ආරම්භ කරන ලදී‍.ක්‍රි.පූ. 4 දී පමණ ජෝතිය නැමැති ජෛන බමුණකුගේ සැලසුමකට අනුව පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය නිර්මාණය කර ඇත.එම නගර නිර්මාණය වර්තමානයේදී අගනගර නිර්මාණයේදී අනුගමනය කරනු ලබන අංගෝපාංග බහුතරයකගෙන් සමන්විතවී තිබීම  විශ්මයජනකය.

පොළොන්නරුව මුලින්ම අගනුවර කරගත්තේ චෝල ආක්‍රමණිකයන් විසින්ය. ක්‍රි.ව 1070 පමණ චෝල ආක්‍රමණිකයන් පළවා හැර පළමුවන විජයබාහු රජු විසින් අගනුවර ලෙස පොළොන්නරුව තෝරා ගෙන ඇත.චෝල පාලන සමයේදී ජනනාතමංගලම් ලෙස හැඳින් වූ පොළොන්නරු යුගය  කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන වකවානුවකි.

අනුරාධපුර මෙන්ම ජලශිෂ්ටාචාරය මත පදනම් වූ මෙම යුගය විශ්මිත කලා නිර්මාණ හා භාෂා සාහිත්‍ය අතින්ද ස්වර්ණමය යුගයකි.එම කාලයේදී මෙරටින් පිට රටට පවා සහල් යැවූ බව පැරණි පොත පතෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයට සමගාමීව 1987 අංක 42 දරණ පළාත් සභා පණතින් සැලසුණු අවකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත විය. මේ අනුව යහපාලන සංකල්පයට අනුගත වීම රජයේ ප්‍රධාන අරමුණක් වන අතර ඊට අනූව යමින් ශ්‍රි ලංකාවේ දේශපාලන හා පරිපාලන ව්‍යුහය තුළ පළාත් සභා ක්‍රමය හැරවුම් ලක්ෂයක් වන අතර පළාත් සභා ක්‍රමය තුළින් බලය බෙදා හැරීම සහ ප්‍රාදේශියව පවත්නා සමාජ ආර්ථික සංවර්ධන විෂමතා අවම කිරීම සඳහා මුලික දායකත්වයක් පළාත තුළින් සපයා ඇත. මධ්‍යම රජයට අමතරව මධ්‍යම රජයේ නියාමනයට අනුව පළාතේ සංවර්ධන පරිපාලන සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ මෙන්ම පුනරුත්ථාපන හා ප්‍රතිසංවර්ධන කටයුතු වලදීද ප්‍රධානම කළමනාකරණ කේන්ද්‍රස්ථානය වන්නේ පළාත් සභාවයි. පළාතක ජන ජීවිතයේ යහපැවැත්ම, සමෘද්ධිමත් බව, සුභසිද්ධිය, තිරසාර බවට බාධා පමුණුවන පීඩාවන්,  ප්‍රබල අභියෝග හා ගැටලු හඳුනාගෙන ඒ සඳහා තිරසාර, කඩිනම්, විධිමත් සහ ඉලක්කගත පිළියම් යෙදීමට පළාත්සභා ක්‍රමය යොදාගෙන ඇත.

පරිපාලන දිස්ත්‍රික්ක අටකින්ද [8] මායිම්ව පිහිටා ඇති උතුරුමැද පළාත, දිවයිනේ විශාලම පරිපාලන දිස්ත්‍රික්කය වේ. පළාතේ සම්පූර්ණ ජනගහනය 1,401,561ක් වන අතර මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 10,645ක් පමණ වේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 16% ක ප්‍රමාණයකි.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විසිනවයකින් ද[29], මහනගර සභා දෙකකින් ද [02], ප්‍රාදේශීය සභා විසිපහකින් ද[25],ග්‍රාම නිලධාරී වසම් නමසිය අසු අටකින් ද [988] සමන්විත වේ. උතුරු මැද පළාතේ ජනගහනය‍ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 6.5%ක පමණ ප්‍රතිශතයකි. පළාතේ මුළුපවුල් සංඛ්‍යාව 365,000 ක් පමණ වන අතර සමෘද්ධි සහනාධාර හිමි පවුල් සංඛ්‍යාව 83,180ක් පමණ වේ. දළ දේශීය නිෂ්පාදිතයට පළාතෙන් කරනු ලබන දායකත්වය 5.8%ක ප්‍රතිශතයකි. ජනඝනත්වය දෙස බැලීමේදී වර්ග කිලෝ මීටර එකක පදිංචි පුද්ගලයන් සංඛ්‍යාව 142 කි. මෙහිදී විශේෂත්වය වන්නේ ජනඝනත්වය අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයට වඩා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනඝනත්වය ඉහළ අගයක් ගැනීමයි. පළාතේ භූමි ප්‍රමාණයෙන් විවිධ ප්‍රමාණයේ ජලාශයන්ගෙන් වර්ග කිලෝමීටර 782ක් පමණ ආවරණය වී ඇත. සමස්ත ජනගහනයෙන් 5%ක් පමණ නාගරිකව ජීවත් වේ. පළාතේ පවතින විවිධ සම්පත් සහ විභව ශක්තීන් අතර මානව සම්පත, සරුසාර පස, ජලය, වනාන්තර, දැව, පොස්පේට්, රෝස තිරුවානා, සත්ව හා මිරිදියධීවර සම්පත, පරිසර පද්ධතිය සහ විශේෂයෙන්ම එල්ලංගා වාරි පද්ධතිය සහ 250,000 ද ඉක්මවා ඇති පළාතේ ගව සම්පත විශේෂිත වේ.

දිස්ත්‍රික්ක

  • අනුරාධපුරය
  • පොළොන්නරුව

භාෂාව

  • සිංහල
  • දෙමල

වර්ගභූමිය

  • 10,472Km 2

පළාත් කොඩිය

පළාත් කොඩිය

පළාත් පුෂ්පය – ඇහැළ

පළාත් පුෂ්පය – ඇහැළ මල