News
-
- Nostalgic travel still life featuring a vintage film camera, world map, dried flowers, and travel accessories on a rustic wooden surface, evoking a sense of adventure and exploration.
-
- Breaking news sign illuminating on a camera, surrounded by blurred red and orange lights in the background, capturing a sense of urgency and significance in the media landscape

ප්‍රාදේශිය සංචාරක මාර්ගෝපදේශකයින් පුහුණු වැඩසටහනේ 2025 වර්ෂයේ පුහුණුලාභීන්ට සහතික පත්‍ර ප්රදානය කිරීම සහ 2026 නව පුහුණුලාභීන්ගේ පුහුණු වැඩසටහන ආරම්භ කිරීම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුකෙරණි. මෙම පුහුණු පාඨමාලාව ප්‍රධාන අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමණාකරණ ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලද්දකි.පුහුණු ලාභීන් සඳහා පැය 245 ක පුහුණුවක් ලබාදෙන අතර. පුහුණුවෙන් පසුව සංචාරක බලපත්‍ර ලබාදීම ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරයි. පුහුණුව සඳහා රුපියල් 25000 ක මුදලක් පුහුණු ලාභියා විසින් දැරිය යුතු අතර, රුපියල් ලක්ෂ 05 ක මුදලක් පළාත් සභාව මඟින් මෙම සම්පූර්ණ වැඩසටහන සදහා වැය කරයි. 2025 වසරේ පුහුණුලාභීන් 33 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර ප්රදානය කිරීම සිදු කෙරුණ අතර, 2026 නව කණ්ඩායමට 35 දෙනෙකු බඳවා ගනු ලැබීය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්,පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ,ප්‍රධාන අමාත්‍යාංශයෙ ලේකම් කේ.එම්.එච්.එස්.කේ ජයලත්,ප්‍රධාන අමාත්‍යාංශයේ සංචාරක අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) ඩී.එම්.ජේ.දිසානායක ,ප්‍රධාන අමාත්‍යාංශයේ සැලසුම් අධ්යක්ෂ බංඩාර බුලත්සිංහල, අනුරාධපුර හෝටල් පාසලේ විදුහල්පති සුජිත සමරසිංහ,පළාත් සංස්කෘතික අධ්යක්ෂ දුර්ගා ජයසිංහ යන මහත්ම මහත්මීන් සහ පුහුණුලාභීන් සහභාගි විය.

“දහසක් බුදුපුත් " ප්රවෘජ්යාභිෂේක ජාතික මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මහාසංඝරත්නය සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකය හා උතුරු මැද පළාත් සභාව එක්ව මෙය සංවිධානය කරනු ලබන අතර, සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින මෙම මහඟු පුණ්‍යකර්මය පැවැත්වේ. මෙහිදි මුළු දිවයිනම ආවරණය වන පරිදි සොයාගත් කුල දරුවන් දහසක් අනුරාධපුර රුවන්වැලි චෛත්යරාම මළුවේදී පැවිදි බිමට පත් කරනු ලැබේ.මෙවැනි කුලදරුවන් ප්‍රමාණයක් සසුන්ගත කරනු ලබන පළමු අවස්ථාව මෙය බව සැලකේ. මීට පෙර පිරිවෙන් අධ්‍යාපන අංශය මඟින් මෙවන් පින්කමක් සිදු කර ඇතත්, එහිදි පැවිදි කර ඇත්තේ කුලදරුවන් සිය දෙනෙකු පමණක්ය. මෙම සාකච්ඡාවට අභයගිරිය චෛත්‍යරාමාධිපති ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමියන් රේඛිය අමාත්‍යාංශයේ පිරිවෙන් භාර අධ්යක්ෂ හා සහකාර අධ්යක්ෂ හිමිවරුන් අනුරාධපුර සාසනාරක්ෂක් බල මණ්ඩලයේ සභාපති අළුවිහාරේ විමල රතන හිමියන් එහි ලේඛකාධිකාරි කුංචුට්ටුවේ ධම්මකුසල හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත් සම්බන්ධිකරණ ලේකම් ආනන්ද රත්නායක, පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මහතා ඇතුලු රාජ්‍ය ආයතනවල නිළධාරින් සහභාගි විය.

උතුරු මැද පළාත් පාසල් ක්‍රිඩා තරඟාවලිය 2026 උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් තරඟ පවත්වා ඉන් අනතුරුව කලාප මට්ටමින් ජයග්‍රහණය කරන ලද ක්‍රිඩික ක්‍රිඩිකාවන් පළාත් තරඟාවලිය සඳහා සහභාගි වේ. ජුනි 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම ක්‍රිඩා තරඟාවලිය උතුරු මැද පළාත් ක්‍රිඩා සංකීර්ණයේදී පැවැත්වේ. ක්‍රිඩක ක්‍රිඩිකාවන් 16,000 ක් පමණ මෙම තරඟාවලිය සඳහා සහභාගි වන අතර,ඉන් 4000ක්ම මලල ක්‍රිඩා ඉසව් සඳහා ඉදිරිපත් වේ. අද දින පැවති සමාරම්භක අවස්ථාවට අනුරාධපුර කලාපයේ පාසල් කීපයක දරු දැරියන් සමඟ එම පාසල්වල නර්තන ආචාර්යවරුන් විසින් ඉතා විචිත්‍රවත් නර්තනයන් ඉදිරිපත් කළ අතර, ගලෙන්බිඳුණුවැව දුටුවැව මහා විද්‍යාලයේ බාලක තූර්ය වාදන කණ්ඩායම සහ බාලිකා තූර්ය වාදන කණ්ඩායම් විසින් තූර්ය වාදන සංදර්ශනය ඉදිරිපත්කරන ලදි. මෙම අවස්ථාවට අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න ,ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් ආනන්ද රත්නායක , මහජන සම්බන්ධතා නිළධාරි අසේල විජේසිංහ, ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්,පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන්, අතිරේක පළාත් අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන්,විදුහල්පතිවරුන් ,ක්‍රිඩා ගුරුවරුන් ඇතුළු පාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි විය.

අනුරාධපුර, තිරප්පනය, ඇතුන්ගම ගැමුණු මහා විදුහලෙහි අභිනවයෙන් ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල විවෘත කිරීම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල භූමියේදී සිදුකෙරිණි. මේ සඳහා පළාත් සභා අරමුදල් රුපියල් දෙකෝටි තිස්හතර ලක්ෂයක් වැයකොට ඇත. "ලඟම පාසල හොඳම පාසල" වැඩ සටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගොඩනැඟිල්ල අතර මඟ වැඩ නවතා දමා තිබියදී පළාත් සභා අරමුදල් මේ සඳහා යොදවා වැඩ අවසන් කර සිසු අයිතියට පවරා දෙනු ලැබීය. මෙම දෙමහල් ගොඩනැඟිල්ලේ ගණිතාගාරයක්, විද්‍යාගාරයක්, පරිගණකාගාරයක්, භාෂාගාරයක් මෙන්ම පන්ති කාමර 04 කින් ද සමන්විතය. දරුවන් 519 දෙනෙකු අධ්‍යාපනය ලබන මෙම විදුහලේ ගුරුවරුන් 30 දෙනෙකු සේවය සපයයි. මෙම අවස්ථාවට තිරප්පනය ප්‍රාදේශිය සභාවේ සභාපති රොෂාන් විජේසිංහ ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, ප්‍රධාන අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ බණ්ඩාර බුලත්සිංහල, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් ඇතුළු කළාප හා කොට්ඨාශ අධ්‍යක්ෂකවරුන්, විද්‍යාලයේ විදුහල්පතිනි දිල්හානි දීපිකා දිසානායක ඇතුළු ගුරුවරුන්, දෙමාපියන් හා දරුදැරියන් සහභාගිවිය.